සුභ ගමන්, WordPress.

3 minute read

මං මුලින්ම WordPress අතගාන්නෙ 2012 සැප්තැම්බර් වල. එතකොට මට බ්ලොග් රස්නෙ වැදුනා විතරයි; හැබැයි CMS ගැන නම් මෙලෝ හත්තිලව්වක් දැනගෙන හිටියෙ නෑ. ඉන්ටනෙට් තියෙන ඕන මිනිහක්ට ක්ෂණික-නූඩ්ල්ස් වගේ පණ්ඩිතයෙක් වෙන්න පුළුවන් බව හැමෝම දන්නවනෙ. මාත් දෙතුන් පාරක් ගූගල් එක එහෙම පෙරළලා, ක්ෂණික-නූඩ්ල්ස් පණ්ඩිතයෙක් වුණා.

WordPress නිසා මම බ්ලොග් කරන්න පටන් ගත්තට, ගොඩක් අය බ්ලොග් වලට අත්පොත් තිබ්බෙ Blogger හරහා. කවි ලියපු ගොඩක් කොළඹ පළාතේ නෝනලා පාවිච්චි කළේ WordPress.com එකෙන් දෙන සේවාව. එහෙමත් කෙනෙක් තමයි WordPress කියන CMS එක පුද්ගලික පරිහරණයට පාවිච්චි කළේ. මං ඉතින් එහෙමත් එකෙක් තමයි.

කොච්චර පහසුකම් තිබුණත් මිනිස්සු මේක පාවිච්චි කරන්න මැළි වෙච්ච ප්‍රධාන හේතුව විදිහට මම දැක්කෙ, තාක්ෂණික දැනුමේ අඩුවකට වඩා යටිතල පහසුකම් සපයාගැනීමේ ගැටලුවක්. WordPress අඩවියක් පවත්වගෙන යන්න නම් hosting storage එකක් සහ domain name එකක් අවශ්‍යයි. මේ දෙකටම මුදලක් ගෙවන්න වෙනවා (නොමිලේ දෙන තැන්වල ඉන්න උන් දෙන දුක දන්නෙ, නොමිලේ ගත්තු එකෙක්ම තමයි).

GitHub Pages

GitHub Pages වල static වෙබ්අඩවියක් host කරන්න සතයක්වත් යන්නෙ නෑ. අපේ GitHub ගිණුමේ තියෙන HTML රිපොසිටරි එකක් පහසුවෙන් GitHub Pages වලට හරවගන්න පුළුවන්. ඕනතරම් ඉඩක් අරගෙන අපිට ඕන විදිහට වෙබ්අඩවිය හදාගන්න පුළුවන් වුණාට, server සම්බන්ධ කිසිම සේවයක් GitHub Pages වලින් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි PHP වලින් කරන සේරම වැඩ ටික මෙතනදී කරගන්න බැහැ. හැබැයි බ්ලොග් එකකට අවශ්‍ය මූලික අවශ්‍යතා ටික සපයගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා; මෙතනදී තමයි Jekyll එන්නෙ.

Jekyll

සාමාන්‍ය HTML ව්‍යාපෘතියකදී නම් අපි හදන හැම වෙබ් පිටුවකම මුහුණත, මුල ඉඳලා අගටම ලියන්න ඕන, එහෙම බැලුවොත් අපි HTML බ්ලොග් එකක් හදනවා නම් ලිපි ලියනවාට වඩා වැඩි කාලයක් ගෙවන්න වෙන්නෙ කෝඩ් කරන්න. අන්න ඒ අපහසුව මගහරවන්න තමයි Jekyll ඉන්නෙ. Jekyll ගැන වැඩි විස්තර කියන්න මම දන්නෙත් නැහැ; හැබැයි කිසිම කේතන දැනුමක් නැතුව, Markdown කියන ලේඛන ක්‍රමය පාවිච්චි කරලා අපිට පහසුවන් නොමිලේ බ්ලොග් එකක් පවත්වගෙන යන්න පුළුවන්.

WordPress → Jekyll සංක්‍රමණයට හේතු

  • Hosting සඳහා මුදලක් වැය නොවීම
  • Back-end සහ database calls නැති නිසා WordPress වලට වඩා වේගවත් වීම
  • වඩා ස්ථායී සහ ආරක්ෂිත වීම
  • නඩත්තු කිරීම වඩා පහසු වීම

මම GitHub Pages හරහා Jekyll ස්ථාපනය කරගත්ත ක්‍රමය සහ, Google Fonts සම්බන්ධ කරගත්ත ක්‍රමය වෙන දවසක ලියන්නම්. එතකන් මේ ඇති.

ජය! :v:

Comments